MY FATHER’S WATCH – Patrick Maguire
දිදුලන කදුළැලි - පැටි‍්‍රක් මැගුවර්/මාගරී
පරිවර්තනය - අනුල ද සිල්වා
විදර්ශන ප‍්‍රකාශනයකි
මිළ රු. 550
මිනිසා මිහමතට බිහිවූ මුල් අවධියේදී හැසිරීම පිළිබදව ඔහු දැන සිටියාවූ එකම ධර්මතාවය තමන්ට රිසිසේ නීති රීති වලින් තොරව ජීවත් වීම විය. කෙසේ වෙතත් පසුකාලීනව මිනිසාගේ හැසිරීම් රටාව තවත් පුද්ගලයෙකුට හානිකර වන සීමාවෙන් ඔබ්බෙහි තබා ගැනීමේ අභිමතාර්ථය පෙරදැරිව නීතිරීති බිහිවූ බව සිතිය හැකිය. එනම් මිනිසා තමන්ගේ එදිනෙදා කටයුතු ඉටුකිරීමේදී අනුගමනය කල යුතුයැයි පොදුවේ එකග වන ලද සම්මුතීන් ප‍්‍රමාණයකි. මෙම සම්මුතීන් මුල් කාලීනව ආගමික මුහුණුවරින්ද, පසුව ටිකෙන් ටික බලවතාගේ අවශ්‍යතා ආරක්ෂා කරන්නාවූ මුහුණුවරකින්ද, විසිවන සියවසේ මැද භාගය වන විට සියල්ලන්ගේ අයිතීන් ආරක්ෂා විය යුතුය යන මූලධර්මය මතද වර්ධනය වූ බව දැකිය හැකිය. ඒ අනුව වර්තමානය වන විට මූලධාර්මික වශයෙන් නීතියේ පොදු පරමාර්ථය වන්නේ සියළු දෙනාටම අනෙකාට බාධාවක් නොවන පරිදි ජීවත් වීමට බල කෙරෙන සම්ප‍්‍රදායක් ඇති කිරීමයි. මෙම සම්ප‍්‍රදාය ක‍්‍රියාත්මක කිරීමට හා දිගින් දිගටම පවත්වාගෙන යාම සදහා නීතිය හා නීතියේ ආධිපත්‍යය පිළිබද මහජන විශ්වාසය තහවුරු වීම අත්‍යවශ්‍යය. නීතිය යමෙකුගේ පෞද්ගලික, දේශපාලන, ජනවාර්ගික, හෝ ආගමික අභිමතාර්ථයන් ඉටුකරන්නක් වූ විට නීතිය පිළිබද පවත්නා මහජන විශ්වාසය පළුදු වන අතර නීතියේ මූලික අරමුණ තවදුරටත් ඉදිරියට ගෙනයාම අපහසු තත්වයක් පැනනගී. වර්තමානය වන විට බොහෝ අවස්ථා වලදී දක්නට ලැබෙන මහජනයා හෝ දේශපාලකයන් කැලේ නීතිය අතට ගන්නා තත්වයන් නිර්මාණය වන්නේ මෙම නීතියේ ආධිපත්‍යය සංකල්පය කෙරෙහි සමාජයේ විශ්වාසය බිදවැටීම හේතුවෙනි.
කෙසේ වෙතත් නීතියේ ආධිපත්‍යය පිළිබද ගෝලීය සාකච්චා සභාවේ නිරන්තරයෙන් පෙනී සිටින්නාවූ රාජ්‍යයකි මහා බි‍්‍රතාන්‍යය. තමා සම්මතයෙහි පිහිටා සිටින බවට දැඩි විශ්වාසයක් ඇති මෙම රාජ්‍යය නිරන්තරයෙන් නීතියේ ආධිපත්‍යය පිළිබද ගැටලූ සහගත තත්වයන් ඇතිවන තුන්වන ලෝකයේ රටවලට අවවාද අනුශාසනා සපයන්නන් අතරද පෙරමුණේම සිටින රාජ්‍යයක් බවට අද පත්ව ඇත්තේය. කෙසේ වෙතත් මහා බි‍්‍රතාන්‍යයේ නීතියේ ආධිපත්‍යය දැඩිව ප‍්‍රශ්න කෙරෙන ආන්දෝලනාත්මක සිදුවීමක් 1980 දශකයේදී සිදුවිය. එම සිදුවීම අළලා එම සිදුවීමේ වින්දිතයෙකු වූ පැටි‍්‍රක් මාජරී මහතා විසින් රචිත අති සංවේදී කතාන්තරයයි ”දිදුලන කදුළැලි”.
ඔබ කිසිසේත් නොකළ වරදක් පිළිබදව ඔබට චෝදනා එල්ල කරමින් ඔබ අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔබට කුමක් හැගේවිද? ”අධිකරණයේදී නිර්දෝශී භාවය ඔප්පු කළ හැකිය” යනුවෙන් ඔබ කියනු ඇත. එහෙත් ඔබට චෝදනා කරන්නෝද, ඔබ අත් අඩංගුවට පත් කරන්නෝද, ඔබෙන් ප‍්‍රශ්න කරන්නෝ සහ ඔබ විනිශ්චයට භාජනය කරන්නෝ පමණක් නොව රටේ සමස්ත ජනගහණයෙන් අතිමහත් බහුතරයක්ද ඔබ සදොස්ය යන පූර්ව නිගමනයේ දැඩිව එල්බ සිටියහොත් ඔබේ ඉරණම කිසිසේත් එතරම් සරළ හො සුබදායී නොවනු ඇති බවට කුමන කතාද?
ඔබගේ ජීවිතයේ සුන්දරම අවධිය කුමක්ද? මදක් දෑස් වසාගෙන කල්පනා කර බලන්න. දෙමාපියන්ගේ රක්ෂාවරණය යටතේ සිටිමින් කෙළි සෙල්ලමින් හා දිනපතා පාසැල් යමින් ගෙවන ලද ළමා කාලය හා නව යෞවනය හැර වෙනත් සුන්දර මතක සටහනක් කොයින්ද? එය ජීවිතයේ මල් පිපෙන ආදරණීය වසන්තයයි. කිසිදු වගකීමක් නැති, අම්මාගේ සහ තාත්තාගේ ආදරය මැද ගෙවෙන ඒ සුන්දර ජීවිතය කිසිවෙකු ඔබගෙන් උදුරාගෙන ඔබට මසුරන් දෙන බව කිවුවත් ඔබ එය පිළිගන්නේද?
පැටි‍්‍රක් මාජරීගේ පවුලද එතම්ම වත් පොහොසත්කම් නැතත් සුන්දර ජීවිතයක් ගෙවූ සුන්දර කැදැල්ලකි. වැඩිමහලූ සහෝදරයන් දෙදෙනා, බාල සහෝදරිය, පියා සහ මව සමග පැටි‍්‍රක් මාජරීට ඉතා සුන්දර ළමා වියක් උරුමව තිබුණි. එහෙත් වයස අවුරුදු දහතුනේදී ඔවුන්ගේ ඒ සුන්දරත්වයට කණකොකා හැඩුවේ අයි. ආර්, ඒ සංවිධානය මගින් පුපුරුවා හරින ලද බෝම්බයක් සම්බන්දයෙන් සැකය ඔවුන්ගේ කැදැල්ල වෙත එල්ල වීමත් සමගය. ජීවිත 07ක් ඇස් පනාපිට කැඞී, බිදී, විසිරී සුණු විසුණු වී යාමට ගතවූයේ වසර කීපයකි.
එම අත්දැකීම ගැන ඔබට පැහැදිළි චිත‍්‍රයක් ලබාදෙනු වස් පැටි‍්‍රක් මාජරී විසින් රචිත ග‍්‍රන්ථයේ අවසාන පරිච්චේදය මෙහිදී උපුටා දක්වමි.
අවුරුදු දහතුන වනතුරු මගේ ජීවිතය විශිෂ්ටය. අම්මා තාත්තා දෙදෙනාම මා සමග සිටියෝය. සහෝදරයන් දෙදෙනා හා සහෝදරියද එසේමය. පවුල් ජීවිතය හරිම රසවත්ය. ආදරය කැටිව තිබිණ. හැම පවුලකම වාගේ හැලහැප්පීම් හා දුක් කරදර තිබුණද මා සිටියේ සතුටිනි. ජීවිතය ගැන සෑහීමකට පත්ව උන් මා ලෝකය දුටුවේ හොද ස්ථානයක් ලෙසිනි. සමහර අවස්ථා වලදී මා හැසිරුණේ යක්ෂ පැටියෙකු මෙනි. ළමයින්ගේ ගති සොබා එසේ විය යුතු යැයි තාත්තා පැවසුවේය. අවුරුදු දහසය වන විට බි‍්‍රතාන්‍ය හමුදාවට බැදීම මගේ එකම අපේක්ෂාව විය.
1976 මාර්තු 3 වැනිදා මා අත්අඩංගුවට ගන්නා ලදී. හිරගෙදර යෑමට මා සූදානම්ව නොසිටි අතර එහි යෑමට මට කිසිදු වුවමනාවක් නොවීය. එහෙත් මට විකල්පයක්ද නොවීය. මා සිපිරිගෙට යායුතු විය. මුලදී හිරගෙය මහා දරුණු තැනක් විය. ගඩොල්කැට ටොන් ගණනක් හිස මත පටවා ගත්තාක් මෙනි.
මා හිර ගෙදරින් පිටවූයේ අන්දමන්ද ස්වභාවයකිනි. සිදුවූ දෙය එසේ සිදුවූයේ කෙසේදැයි මට අදහා ගැනීමට පවා බැරි තරම් විය. මේවා කෙසේ අමතක කරන්නද? ඇත්තටම මා මේ සිද්ධීන් වලට මුහුණ දුන්නේ කෙසේද?
අම්මා හා තාත්තා මා කුඩා අවධියේම මගෙන් ඈත් කරනු ලැබීය. කුඩා දරුවකු වශයෙන් දෙමාපියන්ගෙන් ලැබිය යුතු ආදරය හා කරුණාව මට නොලැබිණ. එසේම මා ළමා වියෙන් වැඩිහිටි වියට පා නැගුවේ දෙමාපියන් නැතිවය. මා හැදුණේ වැඩුණේ අමුතුම ලෝකයක් වූ හිරගේ තුලය. මා ආපසු සැබෑ ලෝකයට පැමිණි විට මා ඒ ලෝකයට අයිති නැති බවක් දැනිණ. මා හුදෙකලා විය. මා හැම තැනකදීම සිටියේ පසු කෙළවරේය.
හිරගෙදරින් පැමිණි පසු මා සෑම් පෙන්වූ ලෝකයට අවතීර්ණ වූ අතර එයින් මට ගැලවීමක් නොවීය. ඉන්පසු මට මගේ දුවගේ මව හමුවිය. එහෙත් ඒ ජීවිතය අසාර්ථක විය.
ඉන්පසු මට මගේ පුතුන් දෙදෙනාගේ මව ලෝනා හමුවිය. සියලූ වැඩ කටයුතු තනිව කරගත හැකි ඈ ශක්තිමත් ගැහැණියකි. දුකේදීත් සැපේදීත් මගේ පවුලේ අනික් අය මෙන්ම ඇයද මට සමීපව සිටියාය. ඈ හොද මවකි. ඇගෙන් මම ඊට වැඩි දෙයක් බලාපොරොත්තු නොවීමි.
මගේ මව හා පියා විවාහ වී ලන්ඩනයට පැමිණියේ අනෙක් සෑම විවාහක යුවලක් මෙන්ම ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කරනු සදහාය. එහෙත් හදිසියේ පැමිණි පොලීසිය ඔවුන්ගේ ජීවිත විනාශ කළේය. කොහේවත් පුපුරාගිය බෝම්බයක අයිතිකරුවෝ ඔවුන් යැයි හංවඩු ගැසූහ. ඔවුන් බලාපොරොත්තු වූ ජීවිතය මුළුමනින්ම විනාශ විය.
එක් දිනක් මගේ අම්මා මගේ දරු දෙදෙනා මගේ පලාපු පළු දෙකක් යැයි පැවසුවාය. එහෙත් ඔවුන් මට වඩා හුගාක් හොදය. පාසැලේදී දෙන ගෙදර වැඩ කරන්නේ ලොකු උනන්දුවකිනි. ඔවුන් අවුරුදු දහතුන පසු කරන විට මට යළිත් මගේ ළමා කාලය සිහිපත් විය. හිරගතව උන් මගේ දෙමාපියන් තම දරුවන් ගැන කොතරම් දුක් වන්නට ඇත්ද? දුකටත් වඩා ඔවුන් තුළ කෝප හැගීම් ඇති වන්නට ඇත. මගේ සිත් කැළඹීමට හේතු වූයේද මේ සිද්ධීන් විය හැක.
මගේ දියණිය අවුරුදු ගණනාවකින් මා දැක නොතිබුණි. පුතුන් දෙදෙනා නම් වරින් වර මා බලන්නට පැමිණි අතර මමද ඔවුන් බලන්නට ගියෙමි. කෙසේ වුවද මම ඔවුනට පූර්ණ කාලීන පියෙකු නොවීමි. ඔවුන්ටද ඒබ ව දැනෙන්නට ඇත.
එහෙත් පියෙකු වශයෙන් මා අසාර්ථකය. නිදහස් පුද්ගලයෙකු වශයෙන්ද මම තනිව ජීවත් වීමට උත්සාහ කළෙමි. මගේ නිවස ඇත්තේ උස් කුළුණකය. එයද හුදෙකලා ස්ථානයකි. මා නිවසේ සිටියේ සියළුම දොරවල් ජනෙල් ඇරගෙනය. ඒ එය හිරගෙයක් නොවීම සදහාය. අම්මා හෝ දරුවන් පැමිණ මා හා කතාබහ කරමින් සිටින විට නිවස දිව්‍ය විමානයකි. එහෙත් තනිකම දැනෙනා විට එය යළිත් අපායකි. බොහෝවිට මම මිනිස් සමාජයෙන් ඈත් වීමි.
රෙජී පියතුමා කියන අන්දමට මට ප‍්‍රශ්න ඇති කලේ මේ නිවස නොවේ, නිවසේ පිහිටීමය. මගේ නිවස මුහුදු වෙරළක් අසළට ගෙන යාමට ඇත්නම් කොතරම් සතුටක්ද?
අනෙක් පැත්තෙන් මගේ මේ නිවසට නිතරම පොලීසිය පෙනේ. පොලීසිය දැකීමත් සිතට වේදනාවකි. ඇත්ත වශයෙන්ම මා පසුතැවිල්ලට පත්වන කරුණු දෙකකි.
මගේ දරුවන්ට හරිහමන් පියෙකු නොවීම එක් කරුණකි. අනෙක් කාරණය වූයේ දිගින් දිගටම මා පසුපස එළවූ පොලිස් නිළධාරීන්ට හොද පහරක් දීමට නොහැකි වීමය. පිස්තෝලයක් ගෙන හැරෝ පාරේ පොලිස් ස්ථානයට යෑමට මම කිහිප වරක්ම සිතුවෙමි. එහෙත් පොදුවේ මම පොලීසියට වෛර නොකරමි. මගේ මතකයට නැගෙන්නේ මා කුඩා දරුවෙකුව සිරගතව උන් අවධියේ මට හිරිහැර කළ යෝධයා නමින් හැදින්වුණ පොලිස් නිලධාරියාය. ඔහු සමග වාද කිරීමට ගියේනම් ඔහු මා සමග පවසනු ඇත්තේ තමා නියම අන්දමට රාජකාරිය කල බවකි.
මා අත්විදි බොහෝ හොද දේවල් මට අමතකය. විදි වේදනා හා කරදර මට නිතරම සිහිපත් වෙයි. සියලූ අත්දැකීම් යළි මෙනෙහි කරන විට ප‍්‍රහේලිකාවක් මෙනි. මගේ සිතට තරහ නැගෙන්නේ නිරන්තරයෙන් සිහිපත් වන වද වේදනා නිසාය.
අම්මා මට වඩා අන්ත දුකක් වින්දාය. එහෙත් ඈ තම නම්බුව රැුකගෙන ආවේගයෙන් තොරව ජීවත් වෙයි. දෙවියන් කෙරෙහි ඇති විශ්වාසයත්, දරුවන්ට ඇති ආදරයත් ඇයට ශක්තියක් වී ඇත.
”පුතා ඔය වෛරය ජීවිත කාලය පුරාවට ගෙනියන්න එපා. අන්තිමට ඔබටමයි දුක් විදින්න සිද්ධ වෙන්නෙ.”
අම්මා මට නිතරම එසේ අවවාද දුන්නාය. බුද්ධිය මෙහෙයවද්දී එය නිවැරදි යයි සිතුණද හදවත එයට විරුද්ධ විය. මා මානසික වශයෙන් ඇදවැටෙන තුරු මගේ සිත තුළ පළිගැනීමේ චේතනාව ඔඩු දිවුවේය. එසේම දරුවන්ට මගේ කතාව අසන්නට අවශ්‍යව තිබිණ. මම ඔවුන්ට මගේ කතාව කියාගෙන යද්දී මගේ සිත තුළ ඇවිලූණු කෝපගින්න ටිකෙන් ටික අඩු විය. එහෙත් මම ඔවුන්ට සියළු සත්‍යය නොපැවසුවෙමි. එය ඔවුන්ට දුකක් වේදනාවක් වේයයි මම සිතුවෙමි.
ඉන්පසු මම මේ පොත ලිවීම ආරම්භ කලෙමි. මගේ කෝපාවේගය ටිකෙන් ටික අඩුවිය. මේ පොත ලිවීම පටන්ගත් පසු මගේ ජීවිතයේද බොහෝ වෙනස්කම් ඇතිවිය. ඒවා දියුණුවේ පෙර ලකුණුය. එහෙත් පුංචි ගින්නක් තවමත් සිත තුළ ඇවිලෙමින් තිබේ. එහෙත් එයද ඉදිරි දිනක නැතිවි යනු ඇතැයි සිතමි.
1974 දෙසැම්බර් 3 වැනිදා පැටි‍්‍රක් මාගරී නම් 13 හැවිරිදි දරුවාත්, ඔහුගේ මව, පියා, හා සහෝදරයෙකු ඇතුළුව 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. ගිල්ෆෝඞ් වල බෝම්බ පිපිරවීමක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් ඔවුහු බි‍්‍රතාන්‍ය නීතිපද්ධතියේ අසාධාරණම නඩු තීන්දුවට මුහුණ දෙමින් සිරගත වූහ. පසුව මෙම නඩු තීන්දුව බි‍්‍රතාන්‍යය පුරා මහත් ආන්දෝලනයට ලක් වූ අතර ටෝනි බ්ලෙයාර් පවා ඔවුන්ගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. නීතියේ අසාධාරණත්වය නිසා පැටි‍්‍රක් හා වින්සන් නම් දරුවන් සිව් වසරක් සිරබත් කෑ අතර ඔවුන්ගේ මව්පිය දෙදෙනා 14 වසරක සිර දඩුවමකට යටත් වූහ.
සිරෙන් නිදහස් වන පැටි‍්‍රක් මානසික රෝගියකු බවට පත්වන්නේ සිරගතවූ කාලයේත් ඉන් පසුවත් ඔහු ලබන වධහිංසා නිසාය. මේ පොත ඔහු විසින් කරන ලද පාපෝච්චාරණයකි. පොත ලිවීමෙන් පසු ඔහු සුවපත් වන්නේ සියල්ල පැවසීමෙන් පසු සිතට ලැබෙන සැනසිල්ල හේතුවෙනි.
නමුත් අසාධාරණ ලෙස ජීවිතයෙන් උදුරාගන්නා ලද ජීවිතයේ වටිනාම අවධිය සම්බන්දයෙන් මුදලින් වන්දි ගෙවීමක් සහ සමාව ඉල්ලීමක් ප‍්‍රමාණවත්ද? දිදුලන කදුළැලි කියවා ඔබම තීරණය කරන්න.
කියවූ පසු ඔබ කැමතිනම් පමණක් මෙම තත්වය මදක් ශ‍්‍රී ලංකාවේ තත්වය සමග සසදා බලන්න. ඔබ එසේ කිරීමට අකැමැති වනු ඇති. නමුත් අකමැත්තෙන් හෝ මදක් හෝ අපක්ෂපාතීව එසේ කිරීමට ඔබ සමත් වුවහොත් ඔබද මමද යම් තරමකින් හෝ කොටස් කාරයින් වන එක්තරා ජුගුප්සාජනක සත්‍යයක් ඔබ ඉදිරියේ විවරණය වනු ඇත.